Friday, September 18, 2009

අපිට දුන්නොත් අපිත් දෙනවා

විපක්ෂයේ පොදු අපේක්ෂකයා බිල් ගේට්ස් ද?


ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ද ඇතුළු සියළු මැතිවරණ පැවැත්වෙන්නේ එකම දිනයක ය. ඒ දිනය ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත. ඒ නිසා ඇමරිකානු ජනතාවගේ භූමිකාව හරියට රාවණා මහරජාණන්ගේ සොහොයුරු කුම්භකර්ණ භූමිකාව වැනිය. කුම්භකර්ණ වසර හතක් එක දිගට නිදාගෙන ඉන් පසු අවදි වී වැඩ පෙන්වන අතර, ඇමරිකානු ජනතාව ද වසර හතරකට වරක් ‘කතා කර,’ එනම් ඡන්දය දමා ඉන්පසු නිහඬ වේ.

කාකද්වීපය වනාහි ඇමරිකාවට වඩා වාසනාවන්ත රටකි. එහි ඇති සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව සෑම කාලයකම කුමන හෝ ප‍්‍රත්‍යන්ත ජනපදයක ඡන්දය පැවැත්වේ. ආණ්ඩුව ගමට ගෙන යාමේ සංකල්පය යටතේ එවිට සියළුම ඇමතිවරුන් ද, නිලධාරීන් ද, බහුබූතයන් ද, කෝලමුන් ද සමග සංචාරක සර්කස් කණ්ඩායමක් මෙන් ආණ්ඩුව එකී ප‍්‍රත්‍යන්ත ජනපදයට ගොස් සර්කස් පවත්වයි. සර්කස් බලා ප‍්‍රීතිවන ජනතාව තම මනාපය ආණ්ඩුවට ම ලබාදීම නිසා කාකද්වීපයේ විරුද්ධ පක්ෂය පත් වූයේ විශාල අවුලකට ය.

කාකද්වීපයේ මැතිවරණ පවත්වන දිනය තීරණය කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව නොව ජ්‍යොතිෂ්‍ය අනුව බැවිනුත්, ආණ්ඩුව ඡන්ද දිනාගෙන යන තාලය අනුව විපක්ෂයේ මොරාල් එක හෙවත් චිත්ත ධෛර්යය ද බලාගෙන සිටිය දී වැටෙන බැවිනුත් ජ්‍යොතිෂ්‍ය නියමය අනුව කොයි මොහොතක හෝ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සාකච්ඡාවක් ආරම්භ කළේය.

මෙහිදී විපක්ෂ නියෝජිතයන් යෝජනා කළේ පොදු අපේක්ෂකයා තේරීමට පෙර, දැනට ඡන්දය පැවැත්වෙන දකුණු දිග ප‍්‍රත්‍යන්ත ජනපදයට චරපුරුෂයන් පිරිසක් යවා මහජනයාගේ මතය පිළිබඳ සොයා බැලිය යුතු බවය.
දකුණු දිග ප‍්‍රත්‍යන්ත ජනපදයට ගිය චරපුරුෂයන්ට දකින්නට ලැබුණේ විපක්ෂය සහ රටෙන් පැන ගොස් සිටින මාධ්‍යවේදීන් මොනවා කිව්වත් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස දකුණේ මිනිසුන් උපරිම වශයෙන් භුක්ති විඳින බවයි. ඔහු එක් නිවසක් ඉදිරිපිට නතර විය. නිවස ඉදිරිපිට ප‍්‍රදර්ශනය කර තිබූ ජාතික කොඩිය නිසා නිවසේ සිටින්නේ දේශපේ‍්‍රමීන් බවද, බෞද්ධ කොඩිය නිසා ඔවුන් බෞද්ධයන් බවද, බිත්තියේ ලස්සනට එල්ලා තිබූ කරත්ත රෝදය නිසා ඔවුන් පැවත එන්නේ ගැල්කරුවන්ගේ පරම්පරාවෙන් බවද, ‘බල්ලාගෙන් ප‍්‍රවේසම් වෙනු’ කියා බෝඞ් එකක් ගසා ඇති නිසා නිවසේ සිටින්නේ බල්ලෙකු බවද, ‘මං අහන්නේ බබා එෆ්.එම්’ යනුවෙන් බෝඞ් එකක් එල්ලා ඇති නිසා ඔවුන් ගුවන් විදුලියේ බබා එෆ්.එම් චැනලයේ රසිකයන් බවද, චරපුරුෂයාට එකවර ම දැන ගැනීමට හැකි වූ අතර ආණ්ඩු පක්ෂය විසින් පැරෂුට් මඟින් ඡන්දයට බැස්ස වූ අළුත් අපේක්ෂකයෙකු ගේ කටවුට් එකක් ද ගසා තිබුණ නිසා ඡන්දය දෙන්නේ කාටද යන්න ද මනාව ප‍්‍රදර්ශනය වී තිබිණි. මේ අවස්ථාවේ ගෘහ මූලිකයා පාන් ගෙඩියක් මිළට ගැනීම සඳහා කඬේ යාමට එළියට බසින ලද බැවින් ඔහු හා කතා බහක යෙදීමට අපේ චරපුරුෂයාට අවස්ථාවක් උදාවිය.

‘‘කොහොමද අංකල්, මේ පැත්තට වහිනව ද?’’ ‘‘ඔව්,ඔව්, නිසි කලට වැසි වසිනවා. කිසි ප‍්‍රශ්නයක් නෑ’’ ‘‘කොහොමද මේ පැත්තෙ කලබල එහෙම තියෙනවද ?’’ ‘‘නෑ,නෑ, කිසි කලබලයක් නෑ. යන්තම් ඉතිං ත‍්‍රස්තවාදය පරාද කළානෙ. දැන් අපිට බයක් සැකක් නැතුව පාරෙ බැහැලා යන්න පුළුවන්. දැන් පාතාලෙත් නෑ. ගමේ කසිප්පු, සූඳූ ඔක්කොම ඇල්ලූවා. දැන් කිසිම ප‍්‍රශ්නයක් නෑ’’‘‘එතකොට ඡන්දෙට වැඩ කරන්නෙ කාටද? ’’ ‘‘ඇයි පේන්නෙ නැද්ද? සල්ලි ගහක් නෙ. අපිට ත‍්‍රිවීල් රෝද තුනක් ම දුන්නා. දැනට ත‍්‍රීවීල් එකක් නැති වුණාට ගත්ත දවසක හරි දාන්න පුළුවන්නෙ. අනික මේ අහල පහළ එක එකාට වැඩ කරන්නෙ මොකටද අපි?’’ කියමින් ඔහු තම නිවසේ සවිකර තිබූ ආණ්ඩුවේ පැරෂුට් අපේක්ෂකයා ගේ කටවුට් එක දෙසට අත දිගු කළේය.‘‘එතකොට දැන් ජනාධිපතිවරණයෙදීත් ඡන්දෙ දෙන්නෙ ආණ්ඩුවට නේද?’’ බලාපොරොත්තු සුන්ව ගිය චරපුරුෂයා ඇසීය.‘‘නෑ. නෑ, මේ ඡන්දෙදී ‘කොළේට’ දෙනවනෙ. ජනාධිපති ඡන්දෙ දි දෙන්නෙ ‘සතා’ට ’’මේ ප‍්‍රකාශය නිසා සම්පුර්ණයෙන් ම අන්ද මන්ද වූ චරපුරුෂයා ඇසුවේ ‘ඒ මොකද?’ කියාය.‘‘ඇයි ළමයො, මේ ආණ්ඩුවෙන් කරන්න තියෙන ඔක්කොම වැඩ දැන් ඉතින් කරල ඉවරයිනෙ. ඒකට කළගුණ සලකන්න මේ ඡන්දෙ ‘කොළේට’ ගහනවා, ජනාධිපති ඡන්දෙ ආවම ඉතුරු වැඩ ටික කර ගන්න අළුත් ආණ්ඩුවක් ඕන නිසා එතකොට ‘සතාට’ ගහනවා’’ ගම් වැසියා හොඳට වටපිට බලා කීවේය.‘‘එතකොට විරුද්ධ පක්ෂෙන් පොදු අපේක්ෂකයා හැටියට සරත් ෆොන්සේකා ඉදිරිපත් කළොත් මොකද කරන්නෙ ?’’ චරපුරුෂයා අවසන් වරට ඇසීය.‘‘කවුද හැබෑටම සරත් ෆොන්සේකා කියන්නෙ ?’’

චරපුරුෂයන්ගේ වාර්තාව ලැබීමෙන් පසු විපක්ෂයේ පක්ෂ රැස්වීමක් තබා තීරණය කළේ පොදු අපේක්ෂකයා වශයෙන් ඇමරිකාවේ සිටින අංක එකේ කෝටිපතියා වන බිල් ගේට්ස් හෝ බැරිම වුණොත් ඉන්දියාවේ විජය මල්ලියා හෝ ඉදිරිපත් කිරීමටය.

Back to home....
වහාම ක‍්‍රියාත්මක වන පරිදි අමුඩ ගසාගෙන ගොඩ ගොවිතැන්, මඩ ගොවිතැන්වල නිරත වීම සහ දිය නෑම තහනම් කිරීමට කටයුතු කරන බව කාකද්වීපයේ ජාතික සංස්කෘතිය පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.ගොවියන් අමුඩය ඇඳීමේදී තට්ටම් සහ කලවා ප‍්‍රදේශය සම්පුර්ණයෙන් ම පවතින්නේ නිරුවත්ව ය. අමුඩය වැනි අශ්ශීල ඇඳුම් ඇඳ, ශරීරය සම්පුර්ණයෙන් ම පාහේ නිරාවරණය කිරීම සංස්කෘතියට, සදාචාරයට සහ සභ්‍යත්වයට බලවත් හානියක් බවත්, එයින් රටේ බාල පරපුර නොමඟ යන බවත් එම නිසා අමුඩය සම්පුර්ණයෙන් ම තහනම් කර ගොවියන්ට දිගු කලිසම් ඇන්දවීමට බලාපොරොත්තු වන බවත් මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් වන තුන්වන යාපා ප‍්‍රකාශ කළේය.මෙම අමුඩ තහනම පළමු ව උතුරු මැද පළාතෙන් ආරම්භ කර පසුව දිවයින පුරාම ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම ප‍්‍රකාශකයා තවදුරටත් පැවසී ය.